Thursday, June 28, 2012

ජනතා අභිලාෂයන්ට පයින් ගසා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අර්බුද මවන ඇමැතිවරු වහා ඉවත් කළ යුතුයි- පියසිරි විඡේනායක (ජා.නි.පෙ.)
සෑම විටම තම විෂය ක්‍ෂේත්‍රය තුළ අර්බුද මවමින් සිසු දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ අභිලාෂයන්ට පයින් ගසන අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන විෂය භාර ඇමැතිවරුන් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කළ යුතු යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික, හිටපු සංස්‌කෘතික ඇමැති පියසිරි විඡේනායක මහතා පැවැසීය. ඒ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස්‌ පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක්‌ අමතමිනි.
එහිදී අදහස්‌ දැක්‌වූ පියසිරි විඡේනායක මහතා මෙසේද පැවැසීය.
"පැරණි සහ නව නිර්දේශයන් දෙක යටතේ 2011 අ.පො.ස. (උ.පෙ.) විභාගයට පෙනී සිටි සිසුන් එකම ගණයක්‌ සේ සලකා ඉසෙඩ් අගයන් තීරණය කිරීම මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙහි 12(1) ව්‍යවස්‌ථාව මගින් සහතික කර ඇති නීතිය ඉදිරියෙහි සමාන ලෙස සැලකීමේ, සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබෙනවා. එම අධිකරණ තීරණයට ඉතා ඉහළින් ගරුකරන ගමන් එම තීන්දුව ලබා ගැනීම සඳහා මුල් වූ ලංකා ගුරු සංගමයට සහ සිසු දරුවන්ගේ දෙමව්පියන්ට මෙම අවස්‌ථාවේදී අපේ ප්‍රණාමය පුදකර සිටිනවා.
ඇමැතිවරු දෙපළ විසින් මේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදු කළ අවුල පිළිබඳ අපි දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නා. එම අවුල විස¹ ගත හැකි පිළියම්ද පෙන්වා දුන්නා. වත්මන් ආණ්‌ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙසයි, අප ඒ කරුණු, පිළියම් ඉදිරිපත් කළේ. නමුත් නිහතමානී නොවන ඇමැතිවරු දෙපළ හා බලධාරීන් ඒවා තුට්‌ටුවකට මායිම් කළේ නැහැ.
සිසුන්ට, ජනතාවට ඇහුම්කන් නොදෙනවා වගේම තම ආණ්‌ඩුවේ පාර්ශ්වකාර පක්‍ෂයක්‌ පෙන්වා දුන් වැදගත් කරුණක්‌ පවා සැලකිල්ලට ගන්න මේ "අසමත් ඇමැතිවරු" එදා සූදානම් වුණේ නැහැ. මේ "අසමත් ඇමැතිවරු" දිගින් දිගටම අවුල් හදන බව දැන ගත්තු ජනාධිපතිතුමා 2011 අ.පො.ස. (උ.පෙ.) ප්‍රතිඵලවල ගැටලු අධ්‍යයනයට ජනාධිපති විද්වත් කමිටුවක්‌ පත් කළා. ධාරා විඡේතිලක මහත්මියගේ සහභාගිත්වයෙන් පත් කළ එම කමිටුවට අපි 2012-01-04 දින ලිපියක්‌ යොමු කරමින් ජාතික නිදහස්‌ පෙරමුණ ලෙස යෝජනා කිහිපයක්‌ ඉදිරිපත් කළා.
අපි එදා ඒ ජනාධිපති විද්වත් කමිටුවට ඉදිරිපත් කළ යෝජනාද ඒ ඊනියා විද්වතුන් තුට්‌ටුවකට මායිම් කළේ නැහැ. එම කමිටුව මෙම යෝජනා සැලකිල්ලට ගත්තා නම් සිසු දරුවන්ට තමන්ගේ වැඩිහිටියන්ට විරුද්ධව උසාවි යන්න වෙන්නේ නැහැ. විශේෂඥ දැනුම ඇති අය, ඇමැතිවරු උඩඟු ලෙස ජනතා අදහස්‌ පිළිනොගෙන ඒවාට පයින් ගසා කටයුතු කිරීම හේතුවෙන් හටගත් වේදනාව අපි අද සමාජයක්‌ ලෙස භුක්‌ති විඳිනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් "නීතිය ඉදිරියෙහි සමාන ලෙස සැලකීමේ සිසුන්ගේ මූලික අයිතිවාසිකම" උල්ලංඝනය කර තිබෙනවා. එය වහා නිවැරැදි කළ යුතුයි කියායි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්නේ. දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක කියනවා ඉසෙඩ් ලකුණු ගණනය කිරීමේ වගකීම තියෙන්නේ තමන්ට නොවේ, විභාග දෙපාර්තමේන්තුවට කියලා. ඒ විතරක්‌ නොවෙයි එයා මේ ගැන පැහැදිලි කර ගන්න අධිකරණය හමුවට යනවා කියලත් කියනවා. මේ හදන්නේ ආපසු රටම අවුල් ජාලයක්‌ කරන්න. අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් මේ තත්ත්වයට කඩිනමින් පිළියම් යොදන්න කියා".

No comments:

Post a Comment